රේඩාරයේ ඩිජිටල් කතිකාවත (01) නයිනතිවු හරහා ප්‍රතිනිර්මාණය වන ඉතිහාස කතාව

View previous topic View next topic Go down

රේඩාරයේ ඩිජිටල් කතිකාවත (01) නයිනතිවු හරහා ප්‍රතිනිර්මාණය වන ඉතිහාස කතාව

Post by RADAR on Sun Nov 15, 2015 1:01 pm

ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර දෙදහස් හයසීයක්ටත් එහා විකාශනය වන්නෙකි. එහි ප්‍රධාන මූලාශ්‍රය ලෙස සැලකෙන්නේ මහානාම හිමියන් විසින් විරචිත මහාවංශයයි. මේ දීර්ඝ ඉතිහාසය පුරාවටම ශ්‍රී ලංකාව නම්වූ මේ කුඩා දිවයින විදේශික ආක්‍රමණයන්ට වඩා අභ්‍යන්තරික බල අරගලයන්ගේ සහ පාවාදීම් නිසා ඇතිවන්නාවූ දේශපාලන ව්‍යාකූලත්වයන්ට ලක්ව ඇතැයි පැවසීම නිරවද්‍යය. වසර දෙදහස් හයසීයක් පුරාවටම පාලකයන් අටදෙනෙකු විසින් පමණක් එක්සේසත් කල මේ දේශය, එම මහා කර්තව්‍යයෙන් පසු ආසන්න වශයෙන් වසර තිහ හතලිහකට පසු නැවතත් දුර්වල රාජ්‍යයක් බවට පත්ව විදේශික ආක්‍රමණයන් වලට ලක්වන්නේ අභ්‍යන්තර බල අරගලයන් සහ පාවාදීම් කරණකොටගෙන යැයි ඉතිහාසය හොඳින් අධ්‍යයනය කරන්නෙකුට වැටහී යනු ඇත.

වර්තමානයේද අප ඉදිරියේ දිගහැරෙන ශ්‍රී ලාංකීය දේශපාලන නාටකය එවන්ම අභ්‍යන්තර බල අරගලයන්ගේ සහ පාවාදීම්වල දිඟුවක්ම නොවන්නේදැයි එම නාටකය දෙස තීක්ෂණව සහ පක්ෂ පාට කණ්නාඩි වලින් වියුක්තව බලන්නෙකුට නම් පැහැදිලිවනු නොඅනුමානය. වසර දෙදහස් නවයේදී ලෝකයේ බිහිසුනුම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කොට ලැබූ මහ විජයග්‍රහණය, ඉතිහාසයේ සිදුවූ ලෙසම නැවත හරවා, නැවත නැගිටිමින් සිටි ශ්‍රී ලාංකීය රටත් ජාතියේත් ගමන අඩාල කිරීමට පිඹුරුපත් සැකසෙන බවනම් ඉතාම පැහැදිලිව විද්‍යමානව ඇත.

නාගදීපයේ ප්‍රමුඛ පුවත
නාගදීපය ප්‍රමුඛ පුවතක් බවට පත්වන්නේ පසුගිය දිනෙක උතුරු පලාත් සභාව විසින් සම්මත කරන ලද යෝජනාවක් නිසාය. ඒ නාගදීපය යන නම වෙනුවට නයිනතිවු ලෙස ගැසට් නිවේදනයක් පලකිරීමට පලාත් පාලන ඇමතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද කටයුතු කලයුතු බවට දැක්වෙන යෝජනාවකි. මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ උතුරු පලාත් සභාවේ සභාපති ද්‍රවිඩ රාජ්‍ය පක්ෂයේ සී.වී.කේ සිවඥානම් මහතා විසිනි.

නාගදීපයේ ඉතිහාසය
නාගදීපය උතුරු පලාතේ, යාපන අර්ධද්වීපයට අයත් කුඩා දිවයිනකි. ඓතිහාසික ලේඛණවල ජම්බකෝලපට්ටන හෙවත් දඹකොළපටුන ලෙසත්, ඇතැම් ග්‍රන්ථයන් වල නාකතිවු සහ නාකනඩු ලෙස හැඳින්වූ යාපන අර්ධද්වීපයට අයත් දූපතක් වන නාගදීපය මනිපාවලම් ලෙසත් නම්කොට ඇත.

නාගදීපය යන නම එයට ලැබුනේ විජයාවතරණයට පෙර ශ්‍රී ලංකාවේ විසූ නාග ගෝත්‍රිකයන් එහි විසූ නිසා බවට විශ්වාස කෙරේ.

නාගදීපය වෙළෙඳ ප්‍රජාව විසින් මැණික් සහ හක්ගෙඩි සපයා ගැනීමට පැමිණි ප්‍රමුඛ මධ්‍යස්ථානයක් ලෙසඳ හඳුන්වා දී ඇත. එසේම ද්‍රවිඩ සාහිත්‍යයේ, වීරකව්‍යයන් පහෙන් එක් වීර කාව්‍යයක් ලෙස සලකනු ලබන කාව්‍ය පරිච්ඡේදයන් තිහකින් සමන්විත “මනිමේඛලායි” නම්වූ කාව්‍යයේ ප්‍රස්තුතයට පාදක වන්නේ කෝවලන් සහ මාධවී යන ධනවත් වෙළෙඳ ගෘහපතියන්ගේ දියණිය බුදුදහම වැළඳ ගැනීම සම්බන්ධ කතා වස්තුවයි. එයද සිදුවූයේ නාගදීපයට බුදුරදුන් වැඩි අවස්ථාවේ බවද විශ්වාස කෙරේ.

නාගදීපය ඓතිහාසික සහ ශාසනික වශයෙන් වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමන සිදුවන්නේ නාගදීපයට වන බැවිනි. බුද්ධත්වයට පත්වී වසර පහක් ගතවූ තැන චූලෝධර - මහෝධර නම් නාග ගෝත්‍රික රාජ දෙබෑයන් අතර මැණික් පුටුවක් අරඹයා ඇතිවූ යුද්ධයක් වැලැක්වීම උදෙසා උන්වහන්සේ නාගදීපයට වැඩම කළසේක. මෙම ඓතිහාසික පුරාවෘත්තය මහාවංශයේ මෙන්ම මනිමේඛලායී වීර කාව්‍යයේද ලේඛනගතවී ඇත. අනන්තවූ බුදුගුණයේ මහිමයෙන් මෙම ආරවුල සංසිඳවූ උන්වහන්සේට ගෞරවාන්විතව පුදනු ලැබූ එම මිණි පලඟ සහ බුද්ධ පාද ලාංඡණය පිහිටුවන ලද ශිලාවක් තැන්පත්කොට නාගදීප පුරාණ විහාරස්ථානය ඉදිකරන ලද බව ඉතිහාස ග්‍රන්ථයන්හි සඳහන්ය.

මෙසේ ඉදිකරන ලද නාගදීප පුරාණ විහාරස්ථානයේ සෑය වසභ රාජ සමයේ ලියැවුන වලිපුරම් රන් සන්නසට අනුව දේවානම්පියතිස්ස සහ දුටුගැමුණු රජතුමන්ලා විසින් පිලිසකර කොට වන්දනාමානයට සුදුසු භූමියක් බවට පත්කරන ලදී.

ඉහත මූලාශ්‍ර අනුව පැහැදිලිවන්නේ නාගදීපය කිසිවිටෙකත් ශ්‍රී ලංකාවේ විසූ එක් ජාතියකට පමණක් සින්නක්කර අයිතිව තිබූවක් නොවන බවත් මුලුමහත් ශ්‍රී ලාංකීය ජාතියේ ඓතිහාසික ජාතික උරුමයක් බවත්ය.

ඉතිහාසය විකෘතිකිරීමේ උත්සාහය
මේ යෝජනාවේ පසුබිම සහ අරමුණ තිස්වසරක් රට වෙලාගත් යුද්ධයේම තවත් දිඟුවකි. ශ්‍රී ලංකාව තුල වෙනම ස්වෛරී ද්‍රවිඩ රාජ්‍යයක් හෙවත් ඊලාමයක් බිහිකිරීම සඳහා වන උත්සාහයේ තවත් සන්ධිස්ථානයකි. දෙමළ ඊලමක් උතුරුකරයේ ඇතිවිය යුතු බවට තර්ක කරන පාර්ශවයන්ගේ ප්‍රධාන තර්කයක් වන්නේ අතීතයේදී එම ප්‍රදේශ වල වෙනම ද්‍රවිඩ නිජ භූමියක් තිබූ බවයි. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කරනවිට ලක්දිව විසූ නාග ගෝත්‍රිකයන් ද්‍රවිඩයන් බවට කිසිදු ඓතිහාසික සාක්ෂියක් හමුවී නැත..! එසේම මම පලාත්වල අතීත ද්‍රවිඩ නිජ භූමියක් තිබූ බවට ලැබෙන්නාවූ සෙල්ලිපි, කාසි හෝ වෙනත් කිසිඳු ඓතිහාසික සක්ෂියක් හමුවී නැත..! එසේම රට ඒකචත්‍ර වූ හැමවිටෙකම මුලු රටම එක් රාජ්‍යයක් වූවා මිස සහ එසේ ඒකචත්‍ර කරනුවස් ආක්‍රමණිකයා පලවා හැරියා මිස උතුරේ වෙනම රාජ්‍යයක් තිබූ බවට හෝ එසේ පිලිගත් බවට හෝ ඓතිහාසික සාක්ෂි හමුවී නොමැත..!

ක්‍රිස්තුපූර්ව පන්සිය හතලිස් තුනෙන් ඇරඹුනු මෙරට ලිඛිත ඉතිහාසයට අනුව සහ යාල්පාන වෛපපාලෙයි සහ නිකාය සංග්‍රහය යන ග්‍රන්ථ අනුව දහහතරවන සියවසේදී යාපනයේ ප්‍රාදේශීය රාජ්‍යයන් පැවතී ඇති බව පෙනීයයි. මෙය ඊට පෙරකාලීනවත්, සමකාලීනවත්, පසුකාලීනවත් රටේ බොහොමයක් තැන්වල පැවති තත්වයකි. උදාහරණයක් ලෙස එළාර රාජ සමයේ එනම් දකුණේ මාගම කාවන්තිස්ස රජතුමා යටතේ පැවති ප්‍රාදේශීය ස්වෛරී රාජ්‍ය දැක්විය හැකිය.

එනයින් සලකා බලන කල අතීතයේ පැවතියා යැයි පවසන වෙනම ද්‍රවිඩ රාජ්‍යයක සංකල්පය හුදු මිත්‍යාවක් මිසෙක අන් කිසිවක් නොවේ.

ජාතිවාදියාගේ නිර්ලජ්ජිත හැසිරීම
නයිනතිවු යෝජනාව උතුරු පලාත් සභාව විසින් මෑතකාලයේ සම්මත කරන ලද යෝජනා අතුරින් නවතම යෝජනාවයි. මීටත් වඩා භයානක යෝජනාවක් උතුරු පලාත්සභාව විසින් දෙදහස් පහලොවේ පෙබරවාරි දහවන දින සම්මත කරගන්න ලදී. එම යෝජනාවේ දැක්වුනේ නිදහසෙන් පසු බලයට පත්වූ සෑම රජයක්ම දෙමළ ජනතාව සමූලඝාතනය කලබැවින් ඒ ජන ඝාතනයන් සෙවීම සඳහා ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය බවයි. මෙවන් භයානක මෙන්ම අභූත චෝදනාවක් එල්ලවුවද, එය පාදකකරගනිමින් යෝජනාවක් සම්මත වුවද සංහිඳියාවාදීන් නම් ඊට විරුද්ධව බෙහෙත් බීපු ගොලුවාගේ ප්‍රතිපත්තිය අනුගමණය කලේ විනා බලු කෙඳිරිල්ලක් තරම්වත් හඬක් නැගුවේ නැත. හා සමාන යෝජනාවක් ලෙස ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලුවේදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව දෙදහස් නවයේ අවසන් වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී යුධ අපරාධ සහ සමූහ මනුෂ්‍ය ඝාතනයන් සිදුකලේද යන්න සොයාබැලීමට යාන්ත්‍රණයක් සැකසීමට පවතින රජය විසින් එකඟත්වය ප්‍රකාශ කරන ලදී.

ද්‍රවිඩ රාජ්‍ය පක්ෂයේ මීලඟ ජවනිකාව බන්ධනාගාරගතකොට සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන් නිදහස් කරගැනීම සඳහා යොමුවිය. මෙම ජවනිකාව ආරම්භ කරන ලද්දේ රැඳැවියන් විසින් අරඹන ලද මාරන්තික උපවාසයක් මුවාවෙනි. රැඳවියන් නිදහස් කරගැනීමට අදාලවන යෝජනා සම්මතයක් පලාත් සභාවේ සිදුනොවූවද මෙම ත්‍රස්තවාදී සිරකරුවන් දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වා දෙමින් ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසට රජයට ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය විසින් එල්ලකරන ලද පීඩනය සුලුපටු නොවේ. අවසනදී රජය විසින් එම ඉල්ලීමටද හිස නමා මෙම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට ලබාදිය හැකි උපරිම සහන ලබාදෙන බවටත් එහි ප්‍රථම පියවර වශයෙන් රැඳැවියන් පිරිසක් නිදහස් කරන බවටත් පොරොන්දු වන ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මීට අදාල ප්‍රථම රැඳැවියන් තිස් දෙදෙනෙක් වන පිරිස දෙදහස් පහලොවේ නොවැම්බර් එකොලොස් වන දින ඇප මත නිදහස් කරනු ලැබිණි. නිදහස් වූ රැඳැවියන් ගරු ගාම්භීර තාලයෙන් රජයට දොස් පවරමින් පිටත්ව ගියේ රජයේ මූණට කෙළ ගැසීමට මෙනි.

මේ අතර ඊයේ දිනයේ ජනාධිපතිවරයා හමුවන උතුරු පලාත්සභාවේ මහඇමති සී.වී විග්නේශ්වරන් විසින් සියලු එල්.ටී.ටී.ඊ සිරකරුවන්ට ජනාධිපතිවරය සතු විධායක බලතල යොදා පොදු සමාවක් ලබාදෙන ලෙසද ඉල්ලීමක් කොට ඇතිබවත් ප්‍රකාශ විය.

එසේ නිදහස් නොකරන්නේ නම් ඉදිරිකාලයේ උතුරු පලාතේ හර්තාල් ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවටත් දෙමළ රාජ්‍ය පක්ෂය රජයට තර්ජනාංගුලි ඔසවමින් සිටින බවටද ජනමාධ්‍ය වාර්තා පලවී ඇත.

ජාතිවාදියාගේ පෙරභාවිතය සහ සංහිඳියාවාදීන්ගේ නිහැඬියාව
නවසිය අසූව දශකයේ ආරම්භ වූ කුරිරු ත්‍රස්තවාදී යුද්ධය වෙනම ද්‍රවිඩ නිජ භූමියක් දිනාගැනීමේ ඉලක්කයෙන් ඇරඹුනේ එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් නම් ම්ලේච්ඡ මිනීමරුවාගේ මූලිකත්වයෙනි. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් සියල්ලන්ගේ ජනජීවිත විනාශකල එම ත්‍රස්තවාදයට සෘජුවම සහයෝගය දැක්වූ දෙමළ රාජ්‍ය පක්ෂයේ හැසිරීම ජාතීන් අතර විරසකය ඇතිකිරීමට විනා ජාතීන් අතර සමඟිය ගොඩනැගීමට හේතු වන්නේ නැත. නවසිය හතලිස් අටේ සිට පැවති රජයන් සියල්ල දෙමළ ජනතාව සමූලඝාතනය කලබවට චෝදනා කරන්නේ එදා එල්.ටී.ටී.ඊ යේ "කොටිහඬ" බවට පත්ව සිටි දෙමළ රාජ්‍ය පක්ෂයයි. මෙදා එල්.ටී.ටී.ඊ රැඳැවියන් නිදහස් කරන්නට කෑ මොර දෙන්නේ එදා එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගෙන්ගේ උපදෙස් මත පමණක් මාධ්‍ය ප්‍රකාශ නිකුත්කල ද්‍රවිඩ රාජ්‍ය පක්ෂයයි. මෙදා නාගදීපය වෙනුවට නයිනතිවු යැයි පාවිච්චි කරන්නට කියන්නේ දෙදහස් පහලොවේ අගෝස්තු දහහත් වනදා නිමාවූ මැතිවරණයට අදාලව ප්‍රචාරක රැලි වලදී තම අසහාය නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බවට පවසමින් ඔහුට ස්තෝත්‍ර ගායනා කල ද්‍රවිඩ රාජ්‍ය පක්ෂයයි.

මේ සියල්ල නොසලකමින් සංහිඳියාවේ බණ දේශණා කරන්නවුන්ට ද්‍රවිඩ රාජ්‍ය පක්ෂයට අවශ්‍ය කරන්නේ බෙදුම්වාදය මිසක් අන් කිසිවක් නොවන බව නොතේරෙන උභතොකෝටිකය කුමක්දැයි වටහාගන්නට බැරිය.

ද්‍රවිඩ රාජ්‍ය පක්ෂයේ මේ ක්‍රියාකාරකම් වලට ජාතිවාදී කියන්නට මේ රටේ සංහිඳියාවාදීන්ගේ දිව නැමෙන්නේ නැත. බෙහෙත් බිවු ගොළුවන් සේ ඊට මුනිවත රැකීම හැර ඔවුන් ගන්නා වෙන කිසිදු විකල්ප ක්‍රියාකරකමකුත් ඇත්තේ නැත. නවසිය හතලිස් අටෙන් පසු සෑම රජයක්ම දෙමළ ජනතාව සමූලඝාතනය කලබව කියනවිට ඊට වචනයකින්වත් පිලිතුරු දීමට බැරිව උකටලීව සිටින සංහිඳියාවාදීන් පාවාදෙන්නේ නිදහසෙන් පසුව රට කරවූ මුලුමහත් රාජ්‍ය තන්ත්‍රයයි. දෙදහස් නවයේදී ජයග්‍රහණය කරන ලද යුද්ධය වෙනුවෙන් ඇස්-ඉස්-මස්-ලේ-ජීවිත කැපකල ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් යුධ අපරාද සිදුකලේදැයි විභාග කිරීමට දේශීය සහ විදේශීය නියෝජිතයන්ගෙන් සැදුම්ලත් දෙමුහුන් අධිකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම හරහා එදා යුධ ජයග්‍රහණයට අරියාදු කල බටහිරට සහ කොටි ඩයස්පෝරාව හමුවේ පාවාදෙන්නේ මේ සම්මුතිකාමී සංහිඳියාවාදීන් විසිනි.
ඔවුහු එසේ පාවා දෙන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තයා වෙඩි තබද්දී දරු මල්ලන් සමඟ දිවි රැකගන්නට පැමිණි සරණාගතයන් උදෙසා තම ආහාරවේල කැපකල්, රටට - දැයට - සමයට අභයදානය ලබාදුන් යුධ විරුවන් බව ඔවුන්ට අමතකව යාම ඛේදයකි..!

ඉතිහාසයේ ප්‍රතිවිකාශනය
මේ සිදුවන්නේ අපේ ඉතිහාසයේ ප්‍රතිවිකාශනයක් මිස අන් කිසිවක් නොවේ. ආක්‍රමණිකයා පලවා හැර රටක් එක්සේසත් කිරීමෙන් වසර සියයක්වත් රට සංවර්ධනයෙන් ඉදිරියට ගෙනයාමට අසමත් වූ ජාතියක ඓතිහාසික හැසිරීමේ ප්‍රතිනිර්මාණයයි.

මහත් ඛේදයට කරුණ නම් ඉතිහාසය නොදන්නා ජාතියක් මෙය ඉතිහාසයේම ප්‍රතිවිකාශනයක් බව වටහාගන්නේ කෙසේද යන්නයි.

ඊටත් වඩා ඛේදජනක කරුණ වන්නේ ඉතිහාසය ගැන කිසිවක්ම නොදත් ඊනියා සංහිඳියාවාදීන් ලෙස වෙස්වලාගත් බත් බැලයන් පිරිසගේ රටට එරෙහි ක්‍රියාකලාපයයි. නියම ජාතිවාදීන් පසෙක සිටියදී ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට මුවින් නොබැන, ඒවා ඉවසා, කටුක සත්‍යය පැහැදිලිකොට දෙන්නන් "ජාතිවාදීන්" ලෙස හංවඩු ගසමින් මෙම ඊනියා සංහිඳියාවාදීන් ගෙනයන රටට එරෙහි ක්‍රියාවලිය කෙලවර වන්නේ ඉතිහාසයේ සිදුවූ ලෙසම රටේ අනාගතය ව්‍යාකූල කරවීමකින් පමණි.

යුද්ධය අවසන් කල මේ දේශයට අවශ්‍ය නියම සංහිඳියාවක් මිස දණින් වැටුනු පරාධීන සංහිඳියාවක් නොවේ.
රටේ ජාතීන් අතර සමඟිය ගොඩනැංවිය යුත්තේ සුලුතරයට ඇවැසි සියලු දේ ලබාදී බහුතරයේ සිත් රිදවීම තුලින් ජනිත වන අවිශ්වාසය තුලින් නොවන බව රට කරවන්නන් තේරුම් ගතයුතුය. එසේම බහුතර්යේද ඉවසීමේ සීමාවක් ඇතිබව සුලුතරයද තේරුම්ගත යුතුය. නියම සංහිඳියාවක් ඇතිවන්නේ ජාතීන් අතර සැකය දුරුවී එකිනෙකාගේ මතයන් ඉවසන සමාජයක් තුලින් බව සියල්ලන්ම තේරුම් ගත යුතුය.

අවාසනාවකට මෙන් සංහිඳියාවාදීන් ශ්‍රී ලාංකීය රටත් ජාතියත් මේ රැගෙන යන්නේ නියම සංහිඳියාව කරා නොව ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දිශානිතියකට බවනම් නොකියාම බැරිය.

RADAR

Posts : 1
Join date : 2015-11-15

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum